ලේබල් ගැටළුවක් හේතුවෙන් පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය එන්නත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගබඩාවල සිරවීම නිසා ඉදිරි මාස තුන තුළ රෝගීන් දස දහස් ගණනකගේ ජීවිත දැඩි මරණීය අවදානමකට ලක්ව ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවා සිටී. ‘කීමෝතෙරපි’ ප්‍රතිකාරයෙන් පසු ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට භාවිත කරන මෙම විශේෂ එන්නත් වර්ගවල දරුණු හිඟයක් හටගෙන ඇත්තේ, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරිය අතර පවතින ආයතනික සම්බන්ධීකරණ දෝෂයක් හේතුවෙනි.
ඖෂධ නියාමන අධිකාරියේ උපදෙස් සහ අදාළ ප්‍රසම්පාදන ක්‍රමවේද නිසිපරිදි අනුගමනය කර ගෙන්වා ඇති මෙම ඖෂධ තොගයේ පිටත ඇලවිය යුතු ලේබලය සම්බන්ධයෙන් මතුව ඇති පරිපාලනමය මතභේදයක් නිසා වෛද්‍ය සැපයුම් ඒකකය විසින් ඒවා භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සමයේ සිදුවූ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබීන් ආනයන අපකීර්තියෙන් පසු රජයේ සෞඛ්‍ය අංශ මෙවැනි ප්‍රසම්පාදන වලදී අතිශය දැඩි හා සුපරීක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම මෙම ඇණහිටීමට මූලිකවී ඇතත්, මසකට රෝගීන් 25,000කට ආසන්න පිරිසකට අවශ්‍ය වන මෙම ජීවිතාරක්ෂක ඖෂධය කළුකඩයේ රුපියල් 25,000කට අධික මුදලකට අලෙවි වීම හේතුවෙන් රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැඩි ආර්ථික හා සමාජීය පීඩනයකට මුහුණ දීමට සිදුව තිබේ.
යම් හෙයකින් මෙම ඖෂධ තොගය යළි හරවා යවා අලුතින් ආනයනය කිරීමට සිදුවුවහොත් අවම වශයෙන් මාස තුනක කාලයක් ගතවනු ඇති අතර, එතෙක් පවතින හිඟය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් රෝගීන් 75,000ක් පමණ අන්ත අසරණ තත්ත්වයට පත්වනු ඇත. මෙම අර්බුදයට කඩිනම් සහ ස්ථාවර විසඳුමක් ලබා දීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම මැදිහත් වී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන්, පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥයන් එකම මේසයකට ගෙනැවිත් සාකච්ඡා කිරීමට කටයුතු කිරීම ජාතික මට්ටමේ දැඩි අවධානයට ලක්විය යුතු යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.
















