Turning Point USA (TPUSA) සංවිධානයේ සම-නිර්මාතෘ චාලි කර්ක් 2025 සැප්තැම්බර් මාසයේදී ඝාතනයට ලක්වීමේ සිදුවීම සහ වත්මන් FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් ඉලක්ක කරගනිමින් දේශපාලන ක්‍රියාකාරිනී සහ මාධ්‍යවේදිනී කැන්ඩස් ඕවන්ස් විසින් කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. තොරතුරු දැනගැනීමේ පනත (FOIA) යටතේ තමන් විසින් කරන ලද ඉල්ලීමක් FBI ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සිය කණස්සල්ල පළ කරමින් ඇය පවසා ඇත්තේ චාලි කර්ක් ඝාතනයට ලක්වීමට පෙර දින 3 තුළ කාෂ් පටෙල් ගමන් කළ සංචාරක විස්තර ලබාදෙන ලෙස තමන් නිල වශයෙන් ඉල්ලා සිටියත්, එම ඉල්ලීම ඉටුකිරීමට යාම අධික බරක් බව පවසමින් FBI ආයතනය එය ප්‍රතික්ෂේප කළ බවයි. මෙවැනි ක්‍රියාවන් නීත්‍යානුකූල වන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කර සිටියි.
මෙම පසුබිම නිර්මාණය වන්නේ 2025 සැප්තැම්බර් 10 වැනිදා යුටා නිම්න විශ්වවිද්‍යාලයේ පැවැති විවාද වැඩසටහනකදී දේශන පවත්වමින් සිටි චාලි කර්ක් වහලයක සිටි තුවක්කුකරුවෙකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟයි. මෙම සිදුවීමෙන් පසු, ආරම්භක පරීක්ෂණවලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පවසමින් කාෂ් පටෙල් විසින් කරන ලද වැරදි ප්‍රකාශයක් පසුව ඉල්ලා අස්කර ගැනීමට සිදුවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් FBI ආයතනය දැඩි දෝෂදර්ශනයට ලක් විය.
මේ වන විටත් කාෂ් පටෙල් රාජ්‍ය දේපළ සහ ගුවන් යානා පෞද්ගලික සංචාර සඳහා භාවිත කිරීම ඇතුළු චෝදනා රැසක් මත FOIA ඉල්ලීම් සහ විවිධ සංවිධානවල නීතිමය පරීක්ෂණවලට මුහුණ දෙමින් සිටින අතර, කැන්ඩස් විසින් මතු කරන ලද මෙම නවතම අනාවරණයත් සමඟ FBI ආයතනය සහ එහි විනිවිදභාවය පිළිබඳව නැවත වරක් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
















