පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ විමර්ශනවලදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහු ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම මගින් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ, සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර ඇති නඩුකරය හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල ස්වාධීනත්වයට සහ ඵලදායීතාවයට බලපෑමක් විය හැකි බවයි. එබැවින් වින්දිතයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා තමන්ට මෙම නඩුවට මැදිහත් වීමට අවසර ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති.
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ (Channel 4) නාලිකාවට අසාද් මවුලානා නමැත්තා ලබාදුන් ප්‍රකාශයේ පාස්කු ප්‍රහාරය සහ සුරේෂ් සලේ මහතා සම්බන්ධ ආකාරය පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවත්, ඒ පිළිබඳ විමර්ශනයක් අවශ්‍ය බවත් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් වැඩිදුරටත් අවධාරණය කරයි. අදාළ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා ඉල්ලා සිටින සහනය අධිකරණය විසින් ප්‍රදානය කරනු ලැබුවහොත්, ඉන් ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවවල අයිතිවාසිකම්වලට බලපෑමක් විය හැකි බව උන්වහන්සේගේ ස්ථාවරයයි.ඒ අනුව, සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසත්, අදාළ පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් කාදිනල් හිමිපාණන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.














