ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගැසීම) රුපියල් ට්‍රිලියන 2.1ක් වැනි ඉහළ අගයක් ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (24) ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය’ ලිපි ශීර්ෂය යටතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කළේය. මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක (2025 මාර්තු 28 සහ 2026 මැයි 22) දත්ත විශ්ලේෂණය කරමින් ඔහු මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.
නිකුත් කරන ලද නිවේදනයට අනුව 2025 වසරේ ජනවාරි මාසය වන විට රුපියල් බිලියන 14,439.1ක් ලෙස පැවති ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම, 2026 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 16,585.7ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව පසුගිය මාස 15ක කාල සීමාව තුළ පමණක් රුපියල් බිලියන 2,146.1කින් (එනම් රුපියල් ට්‍රිලියන 2.1 කින්) මුදල් සැපයුම ප්‍රසාරණය වී තිබේ.
මේ හේතුවෙන් පසුගිය මාස 17ක කාලය තුළ පමණක් වෙළෙඳපොළ සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 303,956කින් ඉහළ ගොස් ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.මහ බැංකුව විසින් M2b දර්ශකය යටතේ මෙලෙස මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම හෙවත් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මුදල් මැවීම සිදු කර ඇති ආකාරය පිළිබඳව ද මෙම නිවේදනය මඟින් වැඩිදුරටත් කරුණු හෙළි කර ඇත.













