ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අන්තර්ජාල පැමිණිලි කළමනාකරණ පද්ධතියක් (Complaint Management System – CMS) හඳුන්වා දී තිබේ. මූල්‍ය පාරිභෝගිකයන්ගේ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ වගවීම ඉහළ නැංවීම මෙම පද්ධතියේ ප්‍රධාන අරමුණයි.
මෙම නව පද්ධතිය හරහා පාරිභෝගිකයන්ට දවසේ ඕනෑම වේලාවක (24/7) තම පැමිණිලි විධිමත් ආකෘතියකට අනුව ඉදිරිපත් කළ හැකි අතර, එම පැමිණිලි විභාග වන ආකාරය සහ එහි වත්මන් ප්‍රගතිය ද අන්තර්ජාලය ඔස්සේම නිරීක්ෂණය කළ හැකිය. මීට පෙර පැවති ලේඛනගත ක්‍රමවේදය වෙනුවට මෙම පද්ධතිය භාවිත කිරීමෙන් පැමිණිලි සැකසීමේදී සිදුවන ප්‍රමාදයන් අවම වන බව මහ බැංකුව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පාරිභෝගිකයෙකු මුලින්ම තම පැමිණිල්ල අදාළ මූල්‍ය ආයතනය වෙත සෘජුවම ඉදිරිපත් කළ යුතු අතර, එම ආයතනයෙන් නිසි විසඳුමක් නොලැබෙන අවස්ථාවකදී පමණක් මහ බැංකුවේ මෙම නව පද්ධතිය හරහා පැමිණිල්ල යොමු කළ හැකිය. පැමිණිලි ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය සියලුම ලේඛන සහ නිවැරදි තොරතුරු සැපයිය යුතු බවට ද උපදෙස් දී ඇත. පාරිභෝගිකයන්ට මෙම සේවාව https://reachus.cbsl.lk/
වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.
















