රත්නපුර සහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වතු වැසියන්ට එල්ල වන ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළ යමින් පවතින බව පවසමින්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට වහාම බහුවිධ පාර්ශවීය සමුළුවක් කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් ඉල්ලා සිටී.
පසුගිය සිකුරාදා (15) දිනැති ලිපියක් මගින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, වතු ප්‍රජාව තුළ දැඩි නොසන්සුන්තාවක් ඇති කිරීමට මෙම ප්‍රහාර හේතු වී ඇති බවයි. ඊයේ (14) දිනයේදී ද උඩපුස්සැල්ලාව පොලිස් වසම තුළ වතු වැසියෙකුට පහර දී රෝහල් ගත කර ඇති බවත්, මෙවැනි සිදුවීම් අඛණ්ඩව වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් මීට පෙර පාර්ලිමේන්තුවේදී මෙන්ම මැයි 10 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද සාකච්ඡා කළ බව මනෝ ගනේෂන් මහතා පවසයි.
යෝජිත මෙම විශේෂ සමුළුව සඳහා වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ.වී. සමන්ත විද්‍යාරත්න, පොලිස්පතිවරයා, පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ප්‍රාදේශීය වතු සමාගම් 22ක ප්‍රධාන විධායක නිලධාරීන් මෙන්ම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) සහ ලංකා වතු කම්කරු කොංග්‍රසය (CWC) නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සහභාගී කරවා ගැනීමට අපේක්ෂිතය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කර සාමකාමී විසඳුමකට එළඹීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.














