පිරමීඩ ජාවාරම්, නීතිවිරෝධී තැන්පතු භාරගැනීම් සහ අධික ලාභාංශ පොරොන්දු වෙමින් රට පුරා ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය මගඩිවලින් ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “Be Scam Proof” නමින් ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ විය. නීත්‍යානුකූල මූල්‍ය ආයතන සහ නීතිවිරෝධී මූල්‍ය ක්‍රම පිළිබඳව මහජනතාව තුළ පවතින අවබෝධය අඩුකම වංචාකරුවන් සිය වාසියට හරවා ගන්නා බව අධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙවැනි වංචා හේතුවෙන් රටේ දුප්පත්කම පිටුදැකීමේ උත්සාහයන්ට බාධා එල්ල වන බවත්, මෙය ජාතික වගකීමක් ලෙස සලකා විසඳිය යුතු ගැටලුවක් බවත් ඔහු අවධාරණය කළේය.
මෙම මූල්‍ය වංචා මැඩපැවැත්වීම මහ බැංකුවට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බවත්, ඒ සඳහා මාධ්‍ය ආයතන, මූල්‍ය ආයතන, විදුලි සංදේශ සේවා සපයන්නන් සහ නීතිය බලාත්මක කරන ආයතනවල ඒකාබද්ධ සහයෝගය අත්‍යවශ්‍ය බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මසක් පුරා ක්‍රියාත්මක වන මෙම ජාතික මෙහෙයුම මගින් මහජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නංවා ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම මහ බැංකුවේ මූලික අපේක්ෂාවයි.
















