ජාත්‍යන්තර පොලිතීන් බෑග් රහිත දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය (CEA) ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොලිතීන් භාවිතය අවම කර පරිසර හිතකාමී සහ නැවත නැවත භාවිත කළ හැකි විකල්ප දෙසට යොමුවන ලෙසයි.
පොලිතීන් භාවිතය හේතුවෙන් පරිසරයට සිදුවන හානිය අතිමහත් බවත්, එය පරිසර පද්ධතිවලට සහ ජීවීන්ට බරපතළ තර්ජනයක් එල්ල කරන බවත් අධිකාරිය පෙන්වා දෙයි. භාවිතයෙන් පසු ක්ෂණිකව ඉවතලන පොලිතීන් බෑගයක් පසට මුසු වී දිරාපත්වීමට වසර සිය ගණනක් ගතවන අතර, එමගින් ස්වාභාවික පරිසර පද්ධතිවලට දිගුකාලීන හානියක් සිදුවේ.
සමාජයේ සාමූහික වගකීම අවධාරණය කරන මධ්‍යම පරිසර අධිකාරිය, එක්වරක් පමණක් භාවිත කර ඉවතලන පොලිතීන් නිෂ්පාදන මත යැපීම අවම කර, අනාගත පරපුර උදෙසා පරිසරය සුරැකීමට තිරසාර විකල්ප භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















