තායිස් සහ හොදෙයිඩා පළාත් සීමාවේ ප්‍රහාර තීව්ර වන අතර මොකා සිට තායිස් දක්වා වූ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයේ පාලනය අත්කර ගැනීමට උත්සාහ
Al Jazeera සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි
යේමනයේ අන්සාරුල්ලා හූති බලවේග සහ ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයේ හමුදා අතර තායිස් සහ හොදෙයිඩා පළාත් සීමා ආශ්‍රිතව පිහිටි උපායමාර්ගික රතු මුහුදු වෙරළබඩ කලාපයේ පාලනය තහවුරු කරගැනීම සඳහා වන සන්නද්ධ ගැටුම් දැඩි ලෙස තීව්ර වී ඇති බව Al Jazeera පුවත් සේවය වාර්තා කරයි.
හූති සංවිධානය විසින් තායිස් පළාතට ප්‍රහාර එල්ල කර ඇති අතර, මොකා වරාය නගරය දෙසට පැමිණි හූති ඩ්‍රෝන යානා කිහිපයක් වෙඩි තබා බිම හෙළීමට රජයේ හමුදා සමත්ව ඇත. මෙම ගැටුම් හොදෙයිඩා දක්වා ව්‍යාප්ත වී ඇති අතර, හූති බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇත්තේ මොකා වරාය නගරයේ සිට තායිස් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පාලනය අත්පත් කර ගැනීමයි. ආහාර, ඉන්ධන සහ වාණිජ භාණ්ඩ යේමනයේ අභ්‍යන්තරයට ප්‍රවාහනය කෙරෙන ප්‍රධානම සැපයුම් මාර්ගය මෙය වන අතර, එහි බලය අත්කර ගන්නා පාර්ශ්වයට කලාපීය වෙළඳ සහ ප්‍රවාහන ජාලයන්හි දැවැන්ත පාලන බලයක් හිමිවේ.
ගෝලීය නාවික වෙළඳාමෙන් 10% – 12% අතර ප්‍රමාණයක් ගමන් කරන බැබ්-අල්-මන්ඩෙබ් සමුද්‍රසන්ධියට සෘජුවම සම්බන්ධ වන මෙම රතු මුහුදු වෙරළබඩ තීරයේ පූර්ණ පාලනය අත්පත් කරගැනීම මගින් සමුද්‍රීය නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීමටත්, කලාපීය ප්‍රතිවාදීන්ට පීඩනය එල්ල කිරීමටත් හූතිවරුන්ට මූලෝපායික හැකියාව හිමිවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














