පවතින මූල්‍ය පීඩනයන් හමුවේ වියදම් සීමා කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදාවේ අත්‍යවශ්‍ය නොවන (Non-essential) සමූහ පුහුණු අභ්‍යාස අත්හිටුවීමට හමුදා බලධාරීන් පියවර ගෙන ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ආරංචි මාර්ග තහවුරු කරයි.
එස්ටෝනියා, ෆෝක්ලන්ත දූපත් සහ සයිප්‍රස් වැනි විදේශීය කලාපයන්හි සේවයේ නිරත හෝ වහාම යෙදවීමට සූදානම් කර ඇති සෙබළුන්ගේ පුහුණුවීම් සාමාන්‍ය පරිදි සිදුවන නමුත්, එක්සත් රාජධානිය තුළ රැඳී සිටින සෙබළුන් සඳහා සැලසුම් කර තිබූ චැලෙන්ජර් 2 (Challenger 2) ටැංකි සහ අපාචි (Apache) හෙලිකොප්ටර් යානා යොදාගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ සජීවී වෙඩි තැබීම් ඇතුළු දැවැන්ත යුධ අභ්‍යාස අත්හිටුවා ඇත. කෙසේ වෙතත් යුක්රේන යුද්ධයෙන් ලබාගත් පාඩම් පදනම් කරගනිමින් ඩ්‍රෝන (Drone) සහ ඩ්‍රෝන විරෝධී තාක්ෂණය යාවත්කාලීන කිරීමේ විශේෂිත පුහුණු වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක වන බව හමුදා ප්‍රකාශකයා සඳහන් කළේය.













