Disengagement 710 ලෙස නම් කළ අතිශය ආන්දෝලනාත්මක යෝජනාව එළඹෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රධාන කොන්දේසියක් ලෙස ඉදිරිපත් කිරීමට ‘ජූවිෂ් පවර්’ පක්ෂය සූදානම් වෙයි
Al Jazeera, Yedioth Ahronoth, The Guardian සහ Arab News වාර්තා කරයි
එළඹෙන ඉශ්‍රායල මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්, ගාසා තීරයේ වෙසෙන සමස්ත පලස්තීන ජනගහනයෙන් 85%කට ආසන්න එනම් පලස්තීන වැසියන් මිලියන 1.86ක් වසර 7ක කාලයක් ඇතුළත විදේශ රටවල් වෙත බලහත්කාරයෙන් පිටුවහල් කිරීමේ දැවැන්ත සැලසුමක් ඉශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය සහ දැඩි අන්තවාදී ‘ඔට්ස්මා යෙහුදිට්’ පක්ෂයේ නායක ඉටමාර් බෙන් ග්වීර් විසින් එළිදක්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Disengagement 710 නමැති පිටු 20ක මෙම නිල යෝජනාවලියට අනුව, පළමු වසර තුළදී පලස්තීන වැසියන් 250,000ක්ද, වසර 3ක් තුළදී මිලියන 1.11ක්ද වශයෙන් සමස්ත ජනගහනය වෙනත් රටවල් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත. මෙම නීතිවිරෝධී ව්‍යාපෘතිය සඳහා ඉශ්‍රායල රජය මගින් මුලින් ෂෙකෙල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කිරීමටත්, විදේශ රටවල් සඳහා මූල්‍ය ආධාර ලබාදීමටත් යෝජනා කර තිබේ. ජිනීවා සම්මුතියට අනුව අත්පත් කරගත් භූමියක වෙසෙන සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉවත් කිරීම දැවැන්ත යුද අපරාධයක් ලෙස සැලකෙන අතර, මානව හිමිකම් සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාව මෙම විනාශකාරී යෝජනාව දැඩි ලෙස හෙළාදැක ඇත.














