ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය සහ ගාමිණී කොරයා පදනම එක්ව සංවිධාන කළ විශේෂ දේශනයක් පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. “ගෝලීය අස්ථාවරත්වයේ සන්ධර්භය තුළ ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති දිශාවන්” යන මැයෙන් පැවැති මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා විසිනි.
වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ වුවද ලොව අනෙකුත් බොහෝ රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව සාපේක්ෂව ඉදිරිගාමී මට්ටමක පසුවන බව ආචාර්ය අමරසේකර මහතා මෙහිදී අවධාරණය කළේය. පවතින අභියෝගාත්මක තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කිරීමට අවශ්‍ය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ඔහු දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර සිටියේය.
මෙම දේශනයේදී වඩාත් අවධානය යොමු වූ කරුණක් වූයේ වසර 2048 වන විට ශ්‍රී ලංකාව හරිත සංවර්ධනය කරා ගෙන යාමට ඇති සැලසුම් පිළිබඳවයි. තිරසාර සංවර්ධනය සහ පරිසර හිතකාමී ආර්ථික උපාය මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගස්වන ආකාරය පිළිබඳව දේශකයා විසින් විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී. මෙම වැඩසටහනට සමගාමීව විවිධ ආර්ථික මාතෘකා ඔස්සේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වුණු අතර ආර්ථික විශේෂඥයින් රැසක් ඊට දායකත්වය ලබා දුන්හ.













