ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 12.9ක ශුද්ධ අලෙවියක් සිදුකර ඇති බව වාර්තා වේ. එම මාසය තුළ මහ බැංකුව ඩොලර් මිලියන 83ක් මිලදී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 95.9ක් අලෙවි කර තිබේ.
මහ බැංකුව විසින් වෙළෙඳපොළ තුළ මෙලෙස ශුද්ධ වශයෙන් ඩොලර් අලෙවි කිරීමක් වාර්තා වන්නේ 2023 අගෝස්තු මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. 2026 වසරේ මුල් මාස කිහිපය තුළ මහ බැංකුව දිගින් දිගටම ඩොලර් මිලදී ගැනීම් සිදුකළ අතර, පෙබරවාරි මාසයේදී පමණක් ඩොලර් මිලියන 461ක් වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබුණි. කෙසේ වෙතත් අප්‍රේල් මාසයේදී මෙම තත්ත්වය වෙනස් වී ඇති අතර, එය මාර්තු මාසයේ සිදුකළ ඩොලර් මිලියන 120.3ක මිලදී ගැනීම්වලට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමකි.















