මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල විටින් විට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් නෝර්වුඩ් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බගවන්තලාව සහ නෝර්වුඩ් අතර ප්‍රදේශයකදී මෙම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට තිබූ බවයි.
සිද්ධිය වාර්තා වීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) නෝර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලය වෙත දැනුම් දී ඇත. ඉන් අනතුරුව එහි නිලධාරීන් සහ සේවක මණ්ඩලය බැකෝ යන්ත්‍ර ඇතුළු උපකරණ ද සහිතව කඩිනමින් එම ස්ථානයට පැමිණ මාර්ගයට කඩා වැටී තිබූ පස් සහ සුන්බුන් සියල්ල ඉවත් කර, මාර්ගය යළි යථා තත්ත්වයට පත් කර රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට පියවර ගත් බව ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
















