27 April 2024
#දේශීය

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මෙරට සිසුන්ගේ නිපුණතාවයට සුවිශේෂි ස්ථානයක් – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මෙන් ම තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්‍රමුඛ අවධානයක් යොමු කරන නිසා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට සුවිශේෂ ස්ථානයක් හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජර්මානු නියෝජිත පිරිසක් සමඟ එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. එම නිරීක්ෂණ චාරිකාවට ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් රැම්සෝවර් මහතා (Peter Ramsauer) ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මහතා (Holger Seubert) ඇතුළු පිරිසක් එක්විය.

තවද, සිසුන්ගේ නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ජර්මන් රජයේ අනුග්‍රහයෙන් 1959 වර්ෂයේ මෙරට ස්ථාපිත කෙරුණු ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයෙන් පුහුණු පාඨමාලා හදාරන සිසුන් සොයා රැකියා පැමිණෙන බවත්, මෙතෙක් කල් පුහුණුව ලැබූ සිසුන්ට මෙරට මෙන් ම විදේශයන්හි දී ද ජීවිත සාර්ථක කරගැනීමට එම පුහුණව මනා පිටුබලයක් වී ඇති බවත් ය. මෙම ආයතනයෙන් වාර්ෂික ව සිසුන් 600ක් බඳවා ගන්නා අතර ඒ ප්‍රමාණය ඉදිරියේ දී වැඩි කරගත යුතු බවත් ජර්මන් රජයේ නවීන තාක්ෂණික දැනුම ඉදිරියේ දීත් අප රටට ලබා දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසිය.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින 70 වසරක අඛණ්ඩ මිත්‍රත්වය ද මෙහිදී අමාත්‍යවරයා සිහිපත් කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතයේ සභාපති සුරංග මෙන්ඩිස්, එහි විදුහල්පති බර්නාඩ් අබේකෝන් යන මහත්වරුන් ද එක් ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *