ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයන ආදායම 2030 වන විට ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) නමින් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ තේ කර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය සමඟ ඒකාබද්ධ කිරීමයි.
වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර තේ අස්වැන්න හා ඵලදායිතාව ඉහළ නැංවීම, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, කුඩා තේවතු ගොවීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්, රක්ෂණ ආවරණයක් සහ සහනදායී ණය පහසුකම් සැපයීම මෙන්ම යාන්ත්‍රීකරණය සහ පුනර්ජනනීය කෘෂිකර්ම තාක්ෂණය හඳුන්වා දීම ද වේ.
වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයිනේ තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් මෙම මස 15 වන දින ආරම්භ කෙරේ. මෙහි ප්‍රධාන සමාරම්භක උත්සවය 2026 ජූලි 15 වන දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්ගොල්ල, හපුගස්තලාව ප්‍රදේශයේදී පැවැත්වේ.
එදිනට සමගාමීව මහනුවර (පන්විලතැන්න), බදුල්ල (ඌවපරණගම), ගාල්ල (නියාගම), මාතර (දෙනියාය), කළුතර (ඉත්තෑපාන), රත්නපුර (කලවාන) සහ කෑගල්ල (ගලිගමුව) ඇතුළු දිස්ත්‍රික්ක 11ක ගම්මාන රැසක මෙම වැඩසටහන් නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.
















