පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්ය අමාත්ය සහ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් ලබන නොවැම්බර් 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (23) අදාළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
චාමර සම්පත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 08 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 වැනිදා දක්වා ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය සඳහා නිසි ක්රමවේදයකින් තොරව බලපත්ර ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුවේ තුන්වැනි සැකකරු ලෙස චාමර සම්පත් දසනායක මහතා නම් කර ඇති බවද කොමිෂන් සභාව සඳහන් කර ඇත. විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරුවන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොමිෂන් සභාව අධිකරණයෙන් ඉල්ලා තිබේ.
















