පැරණි තොග වැඩි මිලට ගත් නිසා මෙරට ඉන්ධන මිල අඩු කළ නොහැකි බව පවසමින් රජය මහජනතාව නොමඟ යවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. මාධ්‍ය අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ මැදපෙරදිග අර්බුදය ආරම්භ වූ වහාම, අඩු මිලට කලින් ලබාගෙන තිබූ පෙබරවාරි තොග සඳහා ද රජය ක්ෂණිකව මිල ඉහළ දැමූ බවයි. එම මිල ඉහළ දැමීම හරහා රජය රුපියල් කෝටි 600කට අධික අමතර ලාභයක් ඉපැයූ බවත්, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් නැවතත් පැවති මට්ටමටම පහත වැටී ඇති වත්මන් තත්ත්වය තුළ එම සාධාරණත්වය ජනතාවට ඉටු නොකරන බවත් ඔහු පැවසීය. වගකීමෙන් යුතුව තොරතුරු ඉදිරිපත් කරන බව පැවසූ රණවක මහතා, මේ වන විට රුපියල් 225කට පෙට්‍රල් ලීටරයක් සහ රුපියල් 240කට ඩීසල් ලීටරයක් මෙරටට ආනයනය කළ හැකි බව ද අවධාරණය කළේය.
2023 සහ 2024 වසරවල සිදුකළාක් මෙන් ඉන්ධන මිල සූත්‍රය, ආනයන වියදම් සහ බදු පිළිබඳ සියලු තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස ඔහු රජයෙන් සහ මහ බැංකුවෙන් ඉල්ලා සිටියි. මීට අමතරව ‘ට්‍රැෆිගුරා’ (Trafigura) සහ ‘ආදිත්‍ය බිර්ලා’ (Aditya Birla) වැනි සමාගම්වලින් ඩීසල් මිලදී ගැනීමේදී විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවත්, මීට පෙර සිදුවූ ගල්අඟුරු වංචාව මෙන්ම මෙම ඩීසල් ප්‍රසම්පාදන වංචාවෙහි බර ද වත්මන් රජය විසින් ජනතාව පිට පටවමින් සිටින බවත් ඔහු චෝදනා කළේය. මේ සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ද හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
















