හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒමට කටයුතු නොකරන්නේ ආණ්ඩුවේ ඇති රහස් ගනුදෙනුවක් නිසා යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි. “සත්‍යය දිනවමු, හොරුත්, බොරුත් පරදවමු” මැයෙන් ගාල්ල නගර ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණ මාලාවේ 6 වැන්නට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
බැඳුම්කර මිල ඉහළ යැවීමට බලපෑම් කළ අය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ලබා දී ඇති ප්‍රබල සාක්ෂිය මඟින් හෙළිදරව් කළ පුද්ගලයා දැන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සිටින නිසා ඔහුව ගෙන ඒමට කටයුතු නොකරන බව ඔහු සඳහන් කළේය. එසේම, වත්මන් ආණ්ඩුව භාණ්ඩාගාරය පිරී ඇතැයි පැවසුවද ජනතාවගේ ජීවන බර සහ බදු අඩු වී නොමැති බවත්, මැතිවරණ පොරොන්දු කඩ කරමින් විදුලි බිල සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවත් පාඨලී චම්පික රණවක මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















