වත්මන් පාලනය යටතේ මෙරට ආර්ථිකයේ හදවත බඳු මූල්‍ය සහ බලශක්ති යන ක්ෂේත්‍ර දැඩි බිඳවැටීමකට ලක්ව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අහිමි වීම සයිබර් ප්‍රහාරයක් (Hacking) ලෙස හැඳින්වීම පදනම් විරහිත බවත්, එය අදාළ නිලධාරීන් බේරා ගැනීම සඳහා ගෙතූ කතාවක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. මෙය හුදෙක් හැකර්වරුන්ගේ ක්‍රියාවක් නොව, පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා නිලධාරීන් කිහිපදෙනෙකුගේ අනුමැතිය ඇතිව සිදුවූවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඔහු පැවසීය.
ආණ්ඩුව මෙය “ෆිෂින්” (Phishing) ප්‍රහාරයක් ලෙස හුවා දක්වමින් වගකීමෙන් බැහැර වීමට උත්සාහ කළ ද, භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ දැනුවත්භාවයකින් තොරව මෙවැනි ගනුදෙනුවක් සිදුවිය නොහැකි බව චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙරට මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව බිඳවැටීම හරහා සමස්ත ආර්ථිකයටම විශාල තර්ජනයක් එල්ල වී ඇති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.














