ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් දහසක දුරකථන දීමනාව ඔවුන්ගේ මූලික වැටුපට අන්තර්ගත කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. මෙම තීරණය ක්‍රියාත්මක වන තෙක් අදාළ දීමනාව ප්‍රතිපූර්ණ පදනම යටතේ අඛණ්ඩව ලබාදීමට කටයුතු යොදා ඇති අතර, වසර ගණනාවක් පුරා පවතින නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සහ ඔවුන්ගේ සේවා තත්ත්වයන් ශක්තිමත් කිරීම උදෙසා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස මෙය හඳුනාගත හැකිය.
මෙම නිලධාරීන්ගේ සේවා කාර්යභාරය ඇගයීමට ලක් කරමින් ග්‍රාමීය මට්ටමේ සේවාවන් සඳහා රුපියල් දෙදහසක දීමනාවක් සහ නාගරික මට්ටමේ කාර්යාල දීමනා ලෙස රුපියල් තුන්දහසක් ලබාදීමට අදාළ පරිපාලන කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතී. මීට සමගාමීව, නිල මුද්‍රා සකසා ගැනීම, කාර්යාලීය ලිපිද්‍රව්‍ය ලබාගැනීම සහ සංවර්ධන සභා රැස්වීම් කැඳවීම් වැනි අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් දැනටමත් රුපියල් දසදහසක මුදලක් ප්‍රතිපූර්ණ ක්‍රමවේදය ඔස්සේ නිලධාරීන්ට ප්‍රදානය කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.
ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්ගේ වෘත්තීය ස්ථාවරත්වය තහවුරු කිරීම සහ ඔවුන්ගේ සේවා කොන්දේසි යාවත්කාලීන කිරීම හරහා ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ. ඉදිරියේදී මෙම දීමනා වැටුප් ව්‍යුහය තුළ ස්ථාවර කිරීමත් සමඟ රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තවදුරටත් ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක වනු ඇති බව මන්ත්‍රීවරයාගේ අදහස වී ඇත.
















