ශ්‍රී ලංකාවේ English Writers Collective (EWC) විසින් ශ්‍රී ලංකා ලේඛකයන්ගේ කෙටිකතා, කවි සහ රචනා ඇතුළත් වාර්‌ෂික සංග්‍රහය වන Channels 2026 කෘතිය එළිදක්වා තිබේ. දශක තුනකට වැඩි කාලයක් පුරා ඉංග්‍රීසි නිර්මාණාත්මක ලේඛනය ප්‍රවර්‌ධනය කිරීම සඳහා කටයුතු කරන EWC සංවිධානයේ වාර්‌ෂික නිර්මාණාත්මක ලේඛන තරගයෙන් තෝරාගත් ප්‍රවීණ සහ නවක ලේඛකයන්ගේ නිර්මාණ මෙම කෘතියට ඇතුළත් කර ඇත.
මෙවර තරගයේ ගද්‍ය අංශයේ පළමු ස්ථානය Moh Afdhaal විසින් ද, කාව්‍ය අංශයේ පළමු ස්ථානය Sureshika Piyasena විසින් ද හිමිකරගෙන තිබේ. ගද්‍ය අංශයේ දෙවැනි ස්ථානය Venessa Andrea Nugara සහ Shawn Mark Ramoo විසින් සමව දිනාගෙන ඇති අතර, තෙවැනි ස්ථානය Maryam Ismath Hussain සහ Priyanka Holsinger විසින් සමව හිමිකරගෙන ඇත. කාව්‍ය අංශයේ දෙවැනි ස්ථානය Sukanti Iyne Husain සහ Michelle Angelina අතර සමව බෙදී ඇති අතර, තෙවැනි ස්ථානය Fathima Bushra Abdul Mannan හිමිකරගෙන තිබේ.
තරගකරුවන්ගේ නිර්මාණ විනිශ්චය කිරීමේදී මුල් අදියරේදී විනිශ්චයකරුවන් විසින් නිර්මාණකරුවන්ගේ අනන්‍යතාව නොදැන වෙන වෙනම ලකුණු ලබාදෙමින් දැඩි ඇගයීම් ක්‍රියාවලියක් සිදුකර ඇති බව EWC සඳහන් කරයි. Pia Hatch සහ Darika Ellawala සංස්කරණය කළ Channels 2026 කෘතියේ තරග ජයග්‍රාහකයන්ට අමතරව අවසන් වටයට සහ දිගු ලැයිස්තුවට තේරුණු ලේඛකයන්ගේ නිර්මාණ ද ඇතුළත් කර තිබේ. මෙම කෘතිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්‌ශනයේ Perera Hussein Publishing House, 5th Lane හි Vijitha Yapa Bookshop, The Jam Fruit Tree Publications සහ Pelawatte හි Kalaya වෙතින් මිලදී ගත හැකිය.
















