ශ්රී ලංකාවේ හිටපු කෙටි දුර ධාවන ශූරියක වූ සුසන්තිකා ජයසිංහ විසින් වසර 24ක් පුරා හිමිකරගෙන සිටි කාන්තා මීටර් 100 ආසියානු වාර්තාව චීනයේ 17 හැවිරිදි ධාවන ශූරියක වන චෙන් යුජී විසින් බිඳ දමා තිබේ. ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා මීටර් 100 අවසන් තරගය තත්පර 11.06කින් නිමා කරමින් ඇය මෙම නව ආසියානු වාර්තාව පිහිටුවා ඇත.
සුසන්තිකා ජයසිංහ 2002 වසරේ දකුණු කොරියාවේ බුසාන් නුවර පැවති ආසියානු ක්රීඩා උළෙලේදී තත්පර 11.15ක කාලයක් වාර්තා කරමින් මෙම ආසියානු වාර්තාව පිහිටුවා තිබුණි. ඒ අනුව එම වාර්තාව වසර 24ක් පුරා නොබිඳී පැවති අතර, චෙන් යුජීගේ දක්ෂතාවයත් සමඟ එය අලුත් වී තිබේ.
මේ අතර කාන්තා මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම තත්පර 11.21ක කාලයක් වාර්තා කළ සිංගප්පූරුව නියෝජනය කළ ශාන්ති පෙරේරා දිනාගෙන ඇති අතර, බහරේනයේ එඩිඩියොන්ග් ඔඩියොන්ග් තත්පර 11.33ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබේ.
















