දරුවන්ගේ සැබෑ ලෝකය තේරුම් ගනිමින් ඔවුන් කේන්ද්‍ර කරගත් සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත්, දරුවන්ගේ හැසිරීම් ධනාත්මක ලෙස වෙනස් කිරීමට නම් පළමුව වැඩිහිටියන්ගේ ආකල්ප හා ප්‍රතිචාර වෙනස් විය යුතු බවත් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය. “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවැති 2026 මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සනාථ කළාය. ජූලි 14 සිට 20 දක්වා ප්‍රකාශයට පත් කර ඇති මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතියට සමගාමීව මෙම දීපව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක වේ.
වර්තමාන සමාජය තුළ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය, විවිධ හිංසනයන්, නොසලකා හැරීම් සහ පාසල් අධ්‍යාපනයෙන් දුරස් වීම වැනි බරපතල ගැටලු බොහෝවිට වැඩිහිටි සමාජයේ නරක හැසිරීම්වල ඍජු ප්‍රතිඵල බව අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. සොඳුරු හා ආදරණීය පවුල් පරිසරයක හැදී වැඩෙන දරුවෙකුගේ පෞරුෂය ඉතා ශක්තිමත්ව වර්ධනය වන බැවින්, පවුල තුළ පවතින ගැටලු සාකච්ඡාවෙන් විසඳා ගැනීම සහ ධනාත්මක හික්මවීම් (Positive Discipline) තුළින් දරුවන්ට නිවැරදි ආදර්ශ ලබාදීම සමස්ත සමාජයේම වගකීමක් බව ඇය අවධාරණය කළාය. මේ අතර, “දරුවන් ඉදිරියේ ආරවුල් වළකමු” යන තේමාව යටතේ ගම්පහ දිස්ත්‍රික්කය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.














