ශ්‍රී ලංකාවේ අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 25%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසයි. මහනුවරදී පැවැති වෘත්තීය දේශකවරුන්ගේ පදනමේ රැස්වීමකට සහභාගි වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවතියද, පෝෂණ ඌනතාව හේතුවෙන් පාසල් දරුවන්ගෙන් හතරෙන් එකකට (1/4) තමන් බලාපොරොත්තු වන අධ්‍යාපනික ඉලක්ක කරා ළඟා වීමට නොහැකි වී තිබේ.
කළල අවස්ථාවේ සිටම නිසි පෝෂණයක් නොලැබීම දරුවාගේ බුද්ධි වර්ධනය අඩාල වීමට සෘජුවම බලපාන බවත්, පෝෂණ ඌනතාව යනු බුද්ධිමය ඌනතාවක් බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ දත්තවලට අනුව මෙරට කුඩා දරුවන් විශාල පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වී අවසන් අතර, මෙම තත්ත්වය දරුවන් උගත් සහ විනයගරුක පිරිසක් ලෙස සමාජගත කිරීමට ප්‍රබල බාධාවක් වී ඇත.
සමාජීය, ආර්ථික හා ජීව විද්‍යාත්මක පීඩනයන්ට ලක්ව ඇති මෙම දරුවන් වෙනුවෙන් කඩිනම් පිළියම් යෙදීම රටේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණක් බව වෛද්‍ය ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා වෘත්තීය දේශකවරුන්ගේ සංසදයේ සභාපති කෝසල ගමගේ සහ ලේකම් නවීන් තිලකරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ.














