ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (අගෝස්තු 31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී නව රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන පිළිබඳව අවධානය යොමුවූ අතර, චීනය ලැබූ අත්දැකීම් ලංකාවට යොදාගැනීම ගැන ද අදහස් හුවමාරු විය. ශ්‍රී ලංකාවට වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට චීන ආයෝජකයන් දිරිමත් කරන බව පැවසූ තානාපතිවරයා, වෙනත් රටවල ස්වෛරීත්වයට ගරු කරමින් අන්‍යෝන්‍ය සංවර්ධනය උදෙසා කටයුතු කරන බව ද අවධාරණය කළේය. එසේම එළඹෙන වසරේදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සහ ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට වසර 75ක් පිරෙන බව ද මෙහිදී සිහිපත් කෙරිණි.














