ශ්‍රී ලංකාවේ රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 2027 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිතය.මෙම ආධාර ව්‍යාපෘතිය යටතේ සිසුන් මිලියන 4.18කගේ පමණ සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට රෙදි මීටර් මිලියන 10.820ක තොගයක් චීන රජය විසින් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම නොමිලේ පරිත්‍යාග කරනු ඇත.ඊට අදාළ නිල සහතිකපත් හුවමාරු කර ගැනීම ඊයේ (15) බත්තරමුල්ල ඉසුරුපායේදී සිදු විය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහභාගී වූහ. මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














