නාවික බලය ශක්තිමත් කිරීමේ සහ ස්වභාවික සම්පත් සුරක්ෂිත කර ගැනීමේ දිගුකාලීන වැඩපිළිවෙළක කොටසක් ලෙස, තමන් සතු යැයි කියනු ලබන දූපත් 11,000කට වැඩි ප්‍රමාණයක යටිතල පහසුකම් තවදුරටත් දියුණු කරන ලෙස චීනය සිය අදාළ අංශවලට උපදෙස් දී තිබේ. දකුණු චීන මුහුදේ පවතින භූමි ආරවුල් මධ්‍යයේ චීනය ගත් මෙම තීරණය කලාපීය ආරක්ෂාව පිළිබඳව යළිත් කතාබහක් ඇති කිරීමට හේතු වී ඇත.
චීන පාලක කොමියුනිස්ට් පක්ෂයට අයත් ‘People’s Daily’ පුවත්පත වාර්තා කරන පරිදි, ගැඹුරු මුහුදේ සම්පත් ගවේෂණය කිරීමට සහ සංවර්ධනය කිරීමට මෙම දූපත් උපායමාර්ගිකව අතිශය වැදගත් වේ. ඒ අනුව එම දූපත්වල යටිතල පහසුකම් නංවාලීම, සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සහ ප්‍රවේශ වීමේ පහසුකම් පුළුල් කරන ලෙස චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
ලොව ප්‍රබල රටවල් රැසක් සිය අවධානය සාගරය දෙසට යොමු කර ඇති පසුබිමක, 2012 වසරේ සිට ජනාධිපති ෂී ජින්පින්ගේ මූලිකත්වයෙන් චීනය “මහා නාවික බලවතෙකු” වීමේ ඉලක්කය කරා ගමන් කරමින් සිටී. මේ සඳහා චීනය සිය නාවික හමුදාව, න්‍යෂ්ටික සබ්මැරීන සහ ගුවන් යානා ප්‍රවාහන නෞකා වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින් සිටීම ද විශේෂත්වයකි.
















