පසුගිය මාසයේදී ජපානයේ ටෝකියෝ නුවර පිහිටි චීන තානාපති කාර්යාල පරිශ්‍රයට පිහියක් රැගෙන පුද්ගලයෙකු ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජපාන බලධාරීන් වහාම පරීක්ෂණ පවත්වා සිය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කළ යුතු බව චීනය බ්‍රහස්පතින්දා (16) ප්‍රකාශ කළේය.
පසුගිය මාර්තු 24 වැනිදා ජපාන ස්වයං ආරක්ෂක හමුදාවේ (JGSDF) දෙවන ලුතිනන්වරයෙකු ලෙස හඳුනාගත් 23 හැවිරිදි කොඩායි මුරාටා (Kodai Murata) නැමැත්තෙකු තානාපති කාර්යාලයේ තාප්පයෙන් පැන පිහියක් ද සමඟ පරිශ්‍රයට ඇතුළු වී තිබේ. මෙම අනවසර ඇතුළුවීම සම්බන්ධයෙන් චීන රජය සිය දැඩි විරෝධය ජපානයට නිල වශයෙන් දන්වා ඇත.
තම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සහ දූත මණ්ඩලවලට එල්ල වන මෙවැනි තර්ජන පිළිබඳව චීනය දැඩි කනස්සල්ල පළ කර සිටියි. ජපානය තුළ සිටින චීන තානාපති කාර්යාල නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් චීන පාර්ශවය අවධාරණය කර ඇත.
මෙම සිදුවීමත් සමඟ ජපානය සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇති අතර, තානාපති කාර්යාල වැනි සංවේදී ස්ථානවල ආරක්ෂාව පිළිබඳ ගැටලු මෙහිදී මතු වී තිබේ.














