ලෝක බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින AI සහ තාක්ෂණික තරඟය ජයගැනීම සඳහා චීන රජය විසින් තිරයෙන් පිටුපස දැවැන්ත රහසිගත මෙහෙයුමක් දියත් කර ඇති බව The Wall Street Journal පුවත්පත හෙළිදරව් කර තිබෙනවා. ඇමෙරිකානු චිප් නිෂ්පාදන තාක්ෂණයට අභියෝග කරමින් දේශීය චිප් තාක්ෂණය දියුණු කිරීමට බෙයිජිං පාලනය අතිශය දැඩි ප්‍රයත්නයක නිරත වන බවයි වාර්තා වන්නේ.
චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ ප්‍රධාන ආධාරකරුවන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම යටතේ, ඇමෙරිකානු චිප් සදහා විකල්ප දේශීය නිෂ්පාදන භාවිත කරන ලෙස චීන සමාගම්වලට දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. දේශීය නිෂ්පාදන භාවිත නොකරන සමාගම් ද්‍රෝහීන් ලෙස සැලකෙන බවට පවා චීන AI සමාගම් වෙත දැඩි ලෙස අවවාද කර ඇති බවයි පුවත්පත් වාර්තාවල සඳහන් වන්නේ.
ඇමෙරිකාව විසින් චීනය වෙත චිප් සහ අධි-තාක්ෂණික මෙවලම් අපනයනය කිරීමට පැනවූ සම්බාධක හමුවේ වුවද, චීනය අතනොහැර තමන්ගේම චිප් නිපදවාගැනීමට නොනවතින සටනක යෙදී සිටිනවා. මෙමඟින් ඇමෙරිකාව මත තබා ඇති තාක්ෂණික පරායත්තතාවය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම චීනයේ ප්‍රධාන අරමුණයි.
මෙම දැවැන්ත තාක්ෂණික මෙහෙයුම වෙනුවෙන් චීන රජය ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින් සිටින අතර, දේශීය තාක්ෂණික දැවැන්තයින් ලවා අධිවේගී AI චිප් නිෂ්පාදනය කිරීම වේගවත් කර තිබෙනවා. අතිශය රහසිගතව සිදුවන මෙම ක්‍රියාවලිය හරහා ඉදිරි වසර කිහිපය තුළදී ඇමෙරිකාව පරදා AI ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට ඔවුන් සැලසුම් කරයි.
මෙම රහසිගත චිප් සංග්‍රාමය හමුවේ ඇමෙරිකානු තාක්ෂණික දැවැන්තයින් ද දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇති අතර, ලෝක බලවතුන් දෙදෙනා අතර පවතින මෙම AI යුද්ධය ඉදිරියේදී යන්නේ කොතැනටද යන්න සමස්ත ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.
තාක්ෂණික ලෝකය උඩුයටිකුරු කරන මෙම ඇමෙරිකා-චීන චිප් සංග්‍රාමය අවසානයේ කවුරුන් ජයගනීද?














