චීනයේ නාගරික ජීවිතය තරුණ තරුණියන්ට, දරුවන්ට සහ පවුල්වලට වඩාත් හිතකාමී සහ සහයෝගී එකක් බවට පත් කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් එරට රජය විසින් අද (22) ප්‍රකාශයට පත් කරන ලදී. චීන රජයේ දෙපාර්තමේන්තු 15ක් ඒකාබද්ධව නිකුත් කළ මෙම නව සැලසුම මගින් නාගරික සැලසුම්කරණය, නිවාස, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ පොදු සේවාවන් යන සියලු අංශ තුළ තරුණ සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස නගර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
“තරුණ සංවර්ධනය ඉලක්ක කරගත් නගර” (Youth-development-oriented cities) සංකල්පය තවදුරටත් පුළුල් කිරීම මෙම සැලසුමේ ප්‍රධාන අරමුණ වන අතර, එහිදී රැකියා අවස්ථා නිර්මාණය කිරීම, සහනදායී නිවාස පහසුකම් සැලසීම, උසස් සෞඛ්‍ය සේවා සහ පවුල් ඒකක ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නගර මට්ටමින් ස්ථාපිත කිරීමට නියමිතය. විශේෂයෙන්ම තරුණ පරපුර මුහුණ දෙන ජීවන වියදම සහ පවුල් වගකීම් පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබා දෙමින්, ඔවුන්ට නගර තුළ රැඳී සිටීමට සහ සාර්ථක වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.
පසුගිය මාර්තු මාසයේදී බීජිං පාලනය විසින් නිවේදනය කරන ලද ප්‍රතිපත්තිමය තීරණවලට අනුගාමීව මෙම සැලසුම ඉදිරිපත් කර ඇති අතර, දිනෙන් දින ඉහළ යන වයස්ගත ජනගහනය සහ අඩු වන උපත් අනුපාතය හමුවේ රටේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය බව චීන රජය විශ්වාස කරයි. මෙම වැඩපිළිවෙළ යටතේ නගර තුළ ක්‍රීඩා පිටි, ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ තරුණ ව්‍යවසායකත්ව මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමට ද විශේෂ අවධානයක් යොමු කෙරේ.
















