ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් ශ්‍රී ලාංකේය තරුණ පරපුර අමතමින්, චීන තරුණ ප්‍රජාවගේ වත්මන් ස්වභාවය සහ දෙරට අතර පවතින සබඳතා පිළිබඳව විශේෂ ලිපියක් යොමු කර තිබේ.චීන තරුණයන් තම පෞද්ගලික සංවර්ධනය ජාතික සංවර්ධනය සමඟ බද්ධ වී ඇති බව දැඩිව විශ්වාස කරති. පසුගිය වසර පහ තුළ විශ්වවිද්‍යාල උපාධිධාරීන් 165,000කට වැඩි පිරිසක් ග්‍රාමීය පුනර්ජීවන කටයුතු සඳහා කැප වී ක්‍රියා කර ඇත.වයස අවුරුදු 35ට අඩු තරුණ පිරිස් චීනයේ ප්‍රධාන පර්යේෂණ ආයතන සහ ජාතික ව්‍යාපෘතිවල කොඳු නාරටිය බවට පත්ව සිටිති. 2025 වසරේ MIT තාක්ෂණික සමාලෝචනයේ “වසර 35ට අඩු නවෝත්පාදකයින් 35” ලැයිස්තුවට චීන විද්‍යාඥයින් සහ ව්‍යවසායකයින් 25 දෙනෙකු ඇතුළත් විය. එමෙන්ම චීන තරුණයන් ජීවිත කාලය පුරාම ඉගෙනීමට කැපවී සිටින අතර, 93.5%ක්ම රැකියාව කරන අතරතුර අඛණ්ඩව අධ්‍යාපනයේ නිරත වෙති.
චීන තරුණ පරපුර පරිභෝජනයේදී සන්නාම පසුපස හඹා නොයන අතර පිරිවැයට සරිලන වටිනාකමක් සහිත දේ මිලදී ගැනීමට වැඩි කැමැත්තක් දක්වති. එමෙන්ම ඔවුන් ලෝකය දැකීමටත් ලෝකය තම රට වෙත සාදරයෙන් පිළිගැනීමටත් බෙහෙවින් ලැදි පිරිසකි. 2024 වසරේ විදෙස් සංචාරවල නිරත වූවන්ගෙන් 67%ක්ම 80, 90 සහ 2000 දශකවල උපත ලැබූවන් වේ.
ශ්‍රී ලංකාවේ තරුණයන් නව තාක්ෂණය කෙරෙහි දක්වන උනන්දුව සහ ඔවුන්ගේ විවෘත මනස තානාපතිවරයාගේ පැසසුමට ලක්ව තිබේ. වාර්ෂිකව ශ්‍රී ලාංකේය සිසුන් 100කට වැඩි පිරිසකට චීනයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව හිමි වන අතර, දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල දහසකට අධික පිරිසක් පුහුණු වැඩසටහන් සඳහා චීනයට යති.අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ චීන සංචාරවලදී එළඹි එකඟතාවන්ට අනුව දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීන තානාපති කාර්යාලය කැපවී සිටින බවද එම ලිපියේ සඳහන් වේ.















