ලෝකයේ දිනෙන් දින උග්‍ර වන ආහාර හිඟයට සහ වගා බිම් හිඟයට සාර්ථක පිළියමක් ලෙස චීන විද්‍යාඥයින් ලවණතාවයට ඔරොත්තු දෙන විශේෂිත ‘මුහුදු වී’ (Seawater Rice) ප්‍රභේදයක් සාර්ථකව නිපදවා ඇත. චීනයේ දෙමුහුන් වී වගාවේ පියා ලෙස සැලකෙන මහාචාර්ය යුවාන් ලෝන්ග්පිංගේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මෙම වී වර්ගය, සාමාන්‍ය මිරිදිය බෝගයක් විනාශ වන මට්ටමේ අධික ලවණ සහිත පරිසරයක පවා සරු අස්වැන්නක් ලබා දෙයි.
මෙම තාක්ෂණය හරහා චීනය පුරා පවතින මුඩුබිම් අස්වැද්දීම මගින් වසරකට අමතර සහල් කිලෝග්‍රෑම් බිලියන 30ක් නිපදවීමට අපේක්ෂා කෙරේ. මෙහි ඇති සුවිශේෂීම වාසිය වන්නේ ලවණ සහිත පරිසරයක කෘමීන්ගේ පැවැත්ම අඩු බැවින්, වගාව සඳහා කෘමිනාශක සහ රසායනික ද්‍රව්‍ය භාවිතය අවම වීමයි. කරදිය මිශ්‍ර වීම නිසා වගා බිම් විනාශ වන ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන්ට ද මෙය සිය ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට ලැබෙන ඉතා වටිනා අවස්ථාවකි.














