නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති අවස්ථාවක යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගනිමින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලබා දී රජයට පාඩුවක් සිදු කරමින් යෝෂිත රාජපක්ෂට වාසියක් සැලැස්වීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ.
අධි චෝදනා අටක් යටතේ ගොනු කර ඇති මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ සහ දෙවැනි විත්තිකරු ලෙස යෝෂිත කනිෂ්ක රාජපක්ෂ නම් කර ඇති අතර, නඩුව වෙනුවෙන් සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ නම් සහ සාක්ෂි ලේඛන 47ක ලේඛනයක් අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.














