ජර්මානු ජාතිකයෙකු විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා ලබා දී තිබූ යුරෝ 91,860 ක (රුපියල් මිලියන 25 කට අධික) මුදලක් වංචා කළ බවට සැකපිට සංචාරක මාර්ගෝපදේශකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බෙන්තර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සංචාරක මාර්ගෝපදේශකයෙකු (Tour Guide) බව පොලිසිය සඳහන් කරයි. සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
















