ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ තමරා කුමාරි අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ඉතා වැදගත් තොරතුරු රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකාරිය කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා යන අය සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව හෙළි වී තිබේ. විශේෂයෙන්ම මැඩගස්කරයේදී හරක් කටා අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සහ අපරාධකරුවන්ට විදේශගත වීමට සහාය වීම පිළිබඳව ඇයට චෝදනා එල්ල වී ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස වෙස්වලා ගැනීමට අවශ්‍ය ටයිපටිය සහ නීතිඥ හැඳුනුම්පත සකස් කර දී ඇත්තේ මෙම සැකකාරිය බවට CIDය කරුණු ඉදිරිපත් කළේය. වෙඩික්කරු සන්තකයේ තිබී ඇයගේ හැඳුනුම්පත ද හමු වී තිබේ.
සැකකාරියගේ බැංකු ගිණුමකට රුපියල් කෝටි 23ක මුදලක් බැර වී ඇති බවත්, එම මුදලම නැවත ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. සාමාන්‍ය නීතිඥ ගාස්තු මගින් මෙතරම් විශාල මුදලක් උපයා ගත නොහැකි බව ඇයගේ කාර්යාල සේවකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වී තිබේ.
ඇයගේ සැබෑ උපන් වර්ෂය 1970 වුවද, 1972 ලෙස සඳහන් ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් බැංකු ගිණුම් 7ක් පවත්වාගෙන ගොස් ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඇයව බන්ධනාගාරය තුළදී ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකාරිය ලබන මැයි මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ගණේමුල්ල සංජීව ඝාතන නඩුවේ 28 වන සැකකාරිය ලෙස ඇයව නම් කර ඇති අතර, මැයි 5 වනදා එම නඩුව සඳහා ඇයව ඉදිරිපත් කිරීමට නියමිතය.













