පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන, දැනට රඳවා ගැනීමේ නියෝග මත පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුදේශ් දේව නැමැති සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහුව මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම විමර්ශනයට අගතිගාමී වන පරිදි සහ ගරු අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදයක්, සැකයක්, අවමානයක් හා අපහාසයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂණය කර ඇත. ගරු අධිකරණය කෙරෙහි මහජන විරෝධතාවයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව විද්‍යුත් මාධ්‍ය මඟින් අසත්‍ය කරුණු ඇතුළත් ප්‍රකාශ ප්‍රචාරය කිරීමටත්, සමාජ මාධ්‍ය මඟින් අසත්‍ය තොරතුරු පළ කිරීමටත් මෙම පිරිස කටයුතු සලස්වා ඇති බව CIDය පෙන්වා දෙයි .
මෙම විමර්ශනවලට අදාළව ගරු අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026.06.15 වන අද දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබේ.
















