මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක පොදු ලෙජර් ගිණුමට අන්තර්ජාලය හරහා රහසිගතව ඇතුළු වී රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (අප්‍රේල් 20) අවසර හිමි විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව ලහිරු හර්ෂණ, පැතුම් කොතලාවල, කෝසල තරංග සහ මොහොමඩ් ඉන්හමුල් හෂාන් යන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනාගෙන් බන්ධනාගාරයේදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට විමර්ශන නිලධාරීන්ට අවස්ථාව හිමි වේ.
වංචාවේ ස්වභාවය සහ විමර්ශන
CIDය අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම වංචාව සඳහා ව්‍යාජ බැංකු ගිණුම් 64ක් භාවිතා කර ඇති බවයි. බැංකුවේ පොදු ලෙජර් ගිණුමෙන් සොරාගත් මුදල් ගිණුම් 100කට යොමු කර, පසුව ඒවා සැකකරුවන් සතු ප්‍රධාන ගිණුම් පහකට බැර කරගෙන තිබේ. මෙලෙස ලබාගත් රුපියල් මිලියන 380ක මුදලක් ‘බයිනෑන්ස්’ (Binance) ගිණුම් හරහා ක්‍රිප්ටෝ මුදල් ලෙස තැන්පත් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
බැංකුවේ ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතිය මගින් සැකකටයුතු ගණුදෙනු හඳුනා ගැනීම නිසා රුපියල් මිලියන 310ක මුදලක් ආරක්ෂා කර ගැනීමට හැකි වුවද, ඉතිරි මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළි විය. සිද්ධිය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.














