‘පිරිසිදු ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ නව ආදර්ශ නගර ජාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. ඩිජිටල් සේවා, පරිසර හිතකාමී නාගරික සැලසුම් සහ ශක්තිමත් සමාජ වටිනාකම් ඒකාබද්ධ කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘පිරිසිදු ශ්‍රී ලංකා’ කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත. මෙම සංවර්ධන වැඩසටහන වඩාත් ප්‍රායෝගික හා විද්‍යාත්මක පදනමකින් ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පූර්ණ තාක්ෂණික සහය ලබා ගැනීමටද තීරණය කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිතුමිණි රත්නමාලල මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, ජාත්‍යන්තර නාගරික සැලසුම් ප්‍රමිතීන්ට අනුකූලව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම ඔවුන්ගේ වගකීමයි. මෙම මූලික අදියරේදී ලොව සාර්ථක නගර සංවර්ධන ආකෘති අධ්‍යයනය කර විද්‍යාත්මක මාර්ගෝපදේශ සකස් කරනු ලබන අතර, ඒ මත පදනම්ව ආදර්ශ නගර කිහිපයක් නියමු ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කෙරේ.
මෙම ව්‍යාපෘතිය හුදෙක් භෞතික සංවර්ධනයට පමණක් සීමා නොවේ. ඉහළ සදාචාරාත්මක සහ සමාජීය වටිනාකම් සහිත, එකිනෙකාට ගරු කරන කාරුණික සහ වගකිවයුතු නාගරික ප්‍රජාවක් ගොඩනැගීමද මෙහි මූලික අරමුණකි. ඊට අමතරව, මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව ලබා දීම සඳහා තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් සේවා ජාලයක් (e-services) නගර තුළ ස්ථාපිත කිරීමට නියමිතය.
මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විද්‍යාත්මකව පදනම් වූ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම සඳහාද විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට පියවර ගෙන ඇත.
















