හදිසි මිල දී ගැනීම් යටතේ මෙරටට ගෙන්වන ලද 05 වැනි නැවේ ගල්අඟුරුවල ද ප්‍රමිතිය පිළිබඳ සහතිකයේ ගැටලුවක් පවතින බව වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති සහ වැඩ බලන බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් අදාළ ගල්අඟුරු තොගය භාරගත නොහැකි බව පසුගිය ජුනි 9 වැනිදා අදාළ සමාගමට දැනුම් දී ඇති අතර, එළඹෙන සැප්තැම්බර් 01 වැනිදාට පෙර ප්‍රමිතියෙන් යුතු අලුත් නැවක් නොගෙනෙන්නේ නම් ටෙන්ඩර් කොන්දේසි අනුව දඩ අය කරන බවට එම සමාගමට දැනුම් දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගල්අඟුරුවල ප්‍රමිතිය අඩුවීම හේතුවෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රජයට රුපියල් බිලියන 4.5ක අලාභයක් සහ ජනන සමාගමට රුපියල් බිලියන 3.1ක පාඩුවක් වශයෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 7ක පමණ අලාභයක් සිදුව ඇති බවයි. මෙම ක්‍රියාවලිය තවදුරටත් සිදුවෙමින් පවතින බැවින් සම්පූර්ණ අලාභය රුපියල් බිලියන 10ක් හෝ 11ක් දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා ඇත.
කෙසේ වෙතත්, ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් දඩ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 29.87ක් (රුපියල් බිලියන 9.8ක්) සහ බැඳුම්කර ලෙස ඩොලර් මිලියන 14.7ක් (රුපියල් බිලියන 4.7ක්) වශයෙන් සමස්තයක් ලෙස රුපියල් බිලියන 14.72ක අතිවිශාල මුදලක් මේ වන විට රඳවාගෙන ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. එම මුදල් රඳවාගෙන ඇති බැවින් බාල ගල්අඟුරු නිසා සිදුවූ පාඩුවේ බර ජනතාවට පැටවීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.















