මෑතකදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව්ගත කිරීම්වලට අදාළ පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය දැඩි කනස්සල්ල පළ කරයි.
ආන්දෝලනාත්මක ටෙන්ඩරයකට අදාළව මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු පිළිබඳ පාරිසරික අධ්‍යයන වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද, අදාළ බලධාරීන් මෙතෙක් එම සොයාගැනීම් ප්‍රසිද්ධ කර නොමැති බව එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. මධ්‍යම පාරිසරික අධිකාරිය සහ රජයේ පරිසර විද්‍යාඥයන් විසින් සිදු කරන මෙම ප්‍රමාදය “සැක සහිත” බව පවසන ඒ මහතා, එම වාර්තාව වහාම අනාවරණය කරන ලෙස ඉල්ලා සිටියි.
මෙම ගල්අඟුරුවල අඩංගු විය හැකි රසදිය, සල්ෆර්, නයිට්‍රජන් ඔක්සයිඩ්, පොස්පරස් සහ කාබන් සංයෝග මෙන්ම අනෙකුත් බැර ලෝහ මගින් පරිසරයට සහ මානව සෞඛ්‍යයට බරපතල හානි සිදුවිය හැකි බවට ඔහු අනතුරු අඟවයි. මෙම ප්‍රමාදය හිතාමතා සිදු කරන්නක් බවට චෝදනා කරන වෛද්‍යවරයා, මෙවැනි දූෂක කාරකයන්ට දීර්ඝකාලීනව නිරාවරණය වීමෙන් මහජනතාවට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම පිළිබඳව රජයේ වහා අවධානය යොමු විය යුතු බව ද අවධාරණය කළේය.














