කොලොම්බියාවේ ආක්‍රමණශීලී සත්ව විශේෂයක් බවට පත්ව සිටින හිටපොපොටේමස් (Hippopotamus) සතුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා එම සතුන් 80 දෙනෙකු පමණ මරා දැමීමේ සැලසුමක් ලබන වසරේ (2026) දෙවන භාගයේදී ආරම්භ කරන බව එරට පරිසර අමාත්‍ය අයිරින් වේලෙස් (Irene Velez) ප්‍රකාශ කළාය. මේ වන විට මැග්ඩලේනා (Magdalena) ගංගාව ආශ්‍රිතව මෙම සතුන් 200ක් පමණ වෙසෙන අතර, නිසි පාලනයක් සිදු නොකළහොත් 2035 වන විට එම සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ යා හැකි බව ඇය පෙන්වා දුන්නාය.
දේශීය පරිසර පද්ධතිය, ගංගා කැස්බෑවන් සහ මැනටි (Manatees) වැනි සතුන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ජල දූෂණය අවම කිරීමට මෙම පියවර අත්‍යවශ්‍ය බව පරිසර අමාත්‍යවරිය අවධාරණය කළාය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ පැබ්ලෝ එස්කොබාර් (Pablo Escobar) විසින් 1980 දශකයේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද හිටපොපොටේමස් සතුන් හතර දෙනෙකුගෙන් මෙම ගහනය වර්ධනය වී තිබේ.
පසුගිය කාලසීමාව පුරා පාලනයකින් තොරව මෙම සතුන් බෝවීම හේතුවෙන් කොලොම්බියාවේ ස්වභාවික පරිසරයට එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයකි. මේ හේතුවෙන් විවිධ පාලන ක්‍රමවේද යටතේ සතුන් 80 දෙනෙකු පමණ මරා දැමීමට රජය තීරණය කර ඇත.














