සෞඛ්‍ය අංශ විසින් රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පවතින බවට නිකුත් කර ඇති නිවේදනය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂක කොට්ඨාශය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
මෙම වැඩසටහන පළමුව කුරුඳුවත්ත පොලිස් වසම තුළ පැවැත්වුණු අතර, අනතුරුව කොළඹ 07, ජාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
මෙම ජාතික වගකීම ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂක නිලධාරීන්, කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්, විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. ඔවුන් විසින් මෙම ප්‍රදේශවල පවතින ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම සහ ඒවා පිරිසිදු කිරීම ඇතුළු මර්දන කටයුතු සිදු කරන ලදී.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින්, මහජනතාව තම නිවෙස් සහ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ මෙහිදී වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
















