කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ අද (ජූනි 10) දින දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව වාර්තා වේ.
මෙම ආරක්ෂක පියවර ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අධිකරණය අද ලබා දීමට නියමිත නියෝගය හේතුවෙනි.
සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම කරුණ සම්බන්ධයෙන් පසුගිය ජූනි 4 වනදා මෝසමක් මගින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතාගේ ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය ලබා දීමට දින නියම කර තිබුණි.
















