කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම ජැටිය (Thalaimannar Port) අතර ගමනාගමන පහසුකම් පුළුල් කරමින් නව දුම්රිය සේවාවක් හෙට (ජූලි 24) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, අංක 5003 දැරූ දුම්රිය පෝය සහ ඉරිදා හැර දිනපතා අලුයම 03:50ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර පෙ.ව. 10:44ට තලෙයිමන්නාරම ජැටිය වෙත ළඟා වනු ඇත. නැවත ගමන ක්‍රියාත්මක කරන අංක 5004 දැරූ දුම්රිය අලුයම 04:10ට තලෙයිමන්නාරම ජැටියෙන් පිටත්වීමට නියමිතය. මෙම දුම්රිය ගම්පහ, පොල්ගහවෙල, කුරුණෑගල, ගල්ගමුව, අනුරාධපුරය, මඩු පාර, මන්නාරම සහ පේසාලේ යන ප්‍රධාන දුම්රිය ස්ථාන හරහා ධාවනය වේ.
අනුරාධපුර නව නගරය දුම්රිය ස්ථානයේ දැනට සිදුවෙමින් පවතින පිළිසකර කිරීම් අවසන් වන තෙක් එම දුම්රිය ස්ථානයේ මෙම දුම්රිය නොනවත්වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත පළමු පන්තියේ වායුසමනය කළ (A/C) මැදිරි දෙකකින් ද සමන්විත මෙම දුම්රිය සඳහා ආසන, දුම්රිය ආසන වෙන්කිරීමේ පද්ධතිය ඔස්සේ හෝ දුම්රිය ස්ථාන වෙත පැමිණ වෙන්කර ගැනීමේ පහසුකම සලසා ඇත.














