රට තුළ සිදුවන විවිධ අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 30 දෙනෙකු පමණ අකාලයේ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පෙන්වා දෙන්නේ, මෙරට සෑම පැය තුනකට වරක්ම පුද්ගලයින් සිව්දෙනෙකු විවිධ අනතුරුවලට ගොදුරු වී මියයන බවයි. වාර්ෂිකව මෙරට සිදුවන සමස්ත මරණ සංඛ්‍යාව 8,000ත් 10,000ත් අතර පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් රථවාහන අනතුරු පිළිබඳව පමණක් වැඩි අවධානයක් යොමු වුවද, ඉන් පිටත සිදුවන අනතුරු පිළිබඳව සමාජය තුළ පවතින්නේ අඩු අවධානයකි. වැටීම්, දියේ ගිලීම්, විදුලි සැර වැදීම් සහ සර්ප දෂ්ටනය වැනි සිදුවීම් හරහා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
බොහෝ විට මෙවැනි අනතුරු මගින් සිදුවන මරණ වළක්වා ගැනීමට අවස්ථාව තිබියදීත්, නොසැලකිල්ල හෝ දැනුවත්භාවය නොමැතිකම නිසා වටිනා ජීවිත අහිමි වීම කනගාටුදායක ඛේදවාචකයක් බව ඔහු අවධාරණය කළේය.














