කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රහස්‍ය ලේඛන බාහිර පුද්ගලයන් වෙත ලබා දෙමින් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය රුවිනි නාලිකා මහත්මිය කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, ඇයට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. මීට අමතරව, විමර්ශන කටයුතුවලට බාධා වීම වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීම ද ඇයට තහනම් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 2 මගින් අත්අඩංගුවට ගත් සැකකාරිය, කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී කාර්යාලයේ සුරක්ෂිතව තබා තිබූ පත්තිරු වෙළුම් සහ ඔප්පුවල දෙවන පිටපත්වලට අදාළ ලේඛන නීතිවිරෝධී ලෙස බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ ඉඩම්වල සැබෑ අයිතිකරුවන්ගේ ව්‍යාජ ලේඛන සකස් කරමින් දේපළ පැවරීමට සහාය වීම වැනි බරපතළ චෝදනා ඇයට එරෙහිව ගොනු කර ඇත.
















