කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු අතර ඇති වූ දරුණු ආරවුලක් හේතුවෙන් තුවාල ලැබූ රැඳවියෙකු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. ඊයේ (27) උදෑසන සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මගින් මූලික විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි කොළඹ 14, නවගම්පුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සහ කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශය එක්ව පුළුල් පරීක්ෂණ පවත්වනු ලබයි.














