මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ඇපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වා දුන් තැරැව්කරු එළඹෙන මැයි මස 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් යන ඇපකරුවන් සහ ඔවුන්ව හඳුන්වා දුන් ආරිය තිස්ස ද සිල්වා යන සැකකරුවන් මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. පළමු සැකකරු මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ග්‍රාම සේවා සහතික 10ක් ද, දෙවන සැකකරු සහතික 7ක් ද ලබාගෙන ඇති බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේය.
සැකකරුවන් කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවත්, ඔවුන් කාලයක සිට වෘත්තීය මට්ටමින් මෙලෙස ඇප තැබීමේ කටයුතුවල නිරත වී ඇති බවත් පොලිසිය අනාවරණය කළේය. මොවුන් පදිංචිය සහතික කරමින් ව්‍යාජ ලෙස ග්‍රාම සේවා සහතික ලබාගෙන ඇති බව ප්‍රකාශ සටහන් කරගැනීමේදී හෙළි වී තිබේ.














