නියමිත නිෂ්පාදන දිනය, කල් ඉකුත්වීමේ දිනය ඇතුළු නිෂ්පාදනය සම්බන්ධ කිසිදු තොරතුරක් ඇසුරුම් දවටනයේ සඳහන් නොකර චීන ආහාර අලෙවි කළ සුපිරි වෙළඳසැල් තුනක තිබූ එම ආහාර සියල්ල විනාශ කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කෙරුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය හමුවේදීය. මෙම වැටලීම්වලදී එක් වෙළඳසලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද, අනෙක් වෙළඳසල් දෙකට රුපියල් ලක්ෂ තුන බැගින් ද දඩ මුදල් නියම කෙරිණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, වැටලීම් කළ වෙළඳසැල් අට අතුරින් මෙම වෙළඳසැල් තුනෙහි අලෙවි කිරීමට තිබූ කිසිදු ආහාර ද්‍රව්‍යයක නිෂ්පාදන තොරතුරු දක්වා නොතිබූ බවයි. මීට අමතරව, කොළඹ 03 ආර්. ඒ. ද මැල් මාවතේ පිහිටි එම සංකීර්ණයේම තවත් වෙළඳසලකට ඊයේ (01) දින රුපියල් ලක්ෂ තුනක දඩයක් නියම කළ බව ද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
















